“ඒකාලෙ දුප්පත් කියන
අය අඩුයි. කාටත් හොඳට කන්න බොන්න තිබුණා. කවුරුත් සතුටෙන් ජීවත් වුණා. කයියට වැඩ
කළේ දෙන්නටම කුඹුරු ඉඩම් තියනෙවා නම් විතරයි. එහෙම නැත්නම් වැඩකළේ කුලියට. හැබැයි
කුලියට කියන්නේ ගොයම් කැපුවාම වී කුරුණිය යි, ගොයම් පෑගුවාම වී කුරුණි දෙක යි. ඒක තමයි
කුලිය. හවස ගෙදර එනකොට ඒකත් අරගෙනයි එන්නෙ.
මේ අතර දිවෙල්
දීමකුත් තිබුණා. ඒ අය එන්නෙ පරණ අවුරුද්දට. රෙදි අපුල්ලන අය, බුලත් කෑමට හුණු
පුච්චන අය, ඒ ඔක්‌කෝට ම
දෙන්නෙ වී හාල් එළවළු ආදිය යි. එක එක ගෙවල්වලින් එකතුවුනාම මහ ගොඩක්. ඒවා ඔක්‌කොම
කරත්තවල පටවගෙන අරන් යනවා. ඒ අයත් ඒ ක්‍රමවලින් පොහොසත් වෙනවා. වළන් හදන අයත්
එනවා. ඒ ගොල්ලන්ටත් වී හාල් තමයි දෙන්නෙ. හැම ගෙදරකටම හොඳට වී හාල් තියෙනවා.
කොටුවේ එළවළු තියෙනවා. කිරි, හරකුන්ගෙන් ලැබෙනවා. වත්තේ කිතුල් ගහක්
දෙකක් මදිනවා. එයින් පැණි හකුරු ලැබෙනවා. ඔය අතර හැම ගෙදරකට ම වගේ රබර් ටිකකුත්
තිබුණා. රබර් විකුණලා ගන්න සල්ලිවලින් කඩේට ගිහින් දුරු මිරිස් පහේ ටික, කරෝල ටික ගන්නවා.
අඳින්න රෙදි කෑල්ලක් ගන්නවා. බොහොම සතුටින් කවුරුත් ජීවත් වුණා. ඒ කාලෙ අඳින්න
රෙදි ගත්තේ අවුරුද්දට විතරයි. අද වගෙ හැමදාම රෙදි ගැනීමක් නැහැ. අවුරුද්දට කලින්
දවසේ ගෙවල්වල හදන කැවිලි පෙවිලි හැම දෙයක්‌මත් හාල්, පොල් ආදී දේවලුත්
නොවරදාවාම පන්සලටත් ගේනවා. මේ හැම දෙයක් ම ගෙනාවාම විශාල ප්‍රමාණයක්. අද නම් මේ
තත්ත්වය හුඟාක් අඩුයි.”
ඉහත උපුටනය අතිපූජ්‍ය බෙල්ලන
ඥාණවිමල ලොකු හාමුදුරුවොත් එක්ක ආචාර්ය ඉත්තෑපානේ
ධම්මාලංකාර හාමුදුරුවො කරපු සාකච්ඡාවකින්. (මේක නැවත ඇස ගැටෙන්න සැලැස්සුවට Sorry.com සොයුරන්ට ස්තුතිය)
දැන් මේකට ප.නූ වාදියො (නොහොත්
පස්චාත් නූතනවාදියො) කියයි අතීතකාමය කියල. කැමති එකක්
කියාගනිල්ලා. මේ එක්තරා වකවානුවක අපේ සමාජයේ හරස්කඩක්.
මේ පෝස්ට් එක ලියවෙන්නෙ අපේ ඉල්ලීම
මත ඉහත සම්පූර්ණ සාකච්ඡාව කියවලා, දන්න කියන ප.නූ/බාගෙට මාක්ස්වාදී/වෙන්ඩ සේකූලර්
බැතිමතෙක් අපිට දීපු පතරංග කමෙන්ට් එකක්
නිසා. එයා කිව්වෙ මෙහෙම අදහසක්.
“මොකද්ද
බං ඔය ජීවිතේ? එක තැනක වැටීගෙන, වවාගන්න දෙයක් තම්බගෙන කාල, ගම වටේ තියෙන
වනාන්තරයෙන් එහාපැත්ත කළුද සුදුද කියලවත් නොදැන නිකාංම මැරිල යනවා. ආර්ට් කියන්නෙ
නොදියුණු බෙර සද්ද ටිකක්. නීතිය කියන්නෙ ගමේ පරවේණී නායකයගෙ වචනේ. ආගම දහම කියන්නෙ
හාමුදුරුවො දන්න කතන්දර ටික. ගමේ වෙදාගෙ බේත් පැලෑටි ටිකට වලංගු නැති ලෙඩක්
හැදුනොත් වැලිගම්පිටි තමා. සත්තු මරෝගෙන වැඩගන්නවා.
දුප්පත්
නෑ කියන්නෙ කොහොමද? ඇඳුමක් කියන්නෙ මොකක් හරි රෙදි කෑල්ලක්. කෑම වේලක් කියන්නෙ
මොකද්ද? හැන්දෑවට මොනවද කරන්නෙ? දන්න කියන ජනකවි තිහ හතලිහ හැමදාම කියනව ඇති.
නැත්තං අහස දිහා බලා ඉන්නව ඇති. නැත්තං හත වෙද්දි බුදියනව ඇති. හිතාගන්න බැරි තරං
බෝරිං ජීවිත. ඇයි ඕක හොඳයි කියන්නෙ?”
මේක ගැන ලොකු උත්තරයක් දෙනවට
වඩා අපි කැමතියි එයාම උත්තරයක් හදාගන්නවනම්. ඒකට අපි තීරණය කලා සරළ ප්‍රස්න ටිකක් අහන්න.
අපිට උත්තර එපා. ඔයාම උත්තර හිතාගන්න. (ආයෙ හම්බඋනාම මේක නොකියෙව්ව වගේ උන්නත්
කමක් නෑ)
1 ඔයා තෘප්මත්ද?
ඒ
මිනිස්සුන්ට අවශ්‍යතා ටිකයි තිබුණේ. හැම අවශ්‍යතාවයම සපුරගන්න හැමෝටම
බැරිවෙන්නැති. නමුත් ඕනෑම කෙනෙකුට උත්සාහයෙන් සපුරගන්න පුළුවන් ඒවා. සමහරවිට මිනිහෙකුගෙ
ඉහලම අවශ්‍යතාව ඇතැම්විට ගමේම හදාගන්න පුළුවන් කරත්තයක්.
නමුත්
ඔයාගේ ලොකුම සිහිනය වන ෆෙරාරියක් අයිතිකරගන්න දවසක් ඔයාට හිතාගන්නවත් පුළුවන්ද?
කවුද වැඩිපුර අතෘප්තිමත්?
2
රට වටේ තියෙන මූදෙන් එහාපැත්ත ඔයා දන්නවා. ගිහින් බලාගෙන එන්නත් පුළුවන්. ටීවී එකේ
පැය විසිහතරෙමත් පෙන්නනවනේ. ඉතින් ඒකෙන් උනේ ඔයාට සහනයක් දැනෙන එකද අසහනය වැඩි වෙන
එකද? සුදු මිනිස්සු දැකල ඔයා කට්ට කළු වුන එක ලැජ්ජ වුනා නේද? කළු මිනිස්සුන්ගෙ
ඇඟවල් දැකල කෙසඟ ඔයාට මොනවද හිතුනෙ? දියුණු මංමාවත් දැකල අපේ පාරවල් ගැන දුක හිතුන
නේ? උං කන බොන, අඳින, හැසිරෙන හැටි දැකල අපි අශිෂ්ටයි කියල හිතුන නේද? උංගෙ
නීතිය/පාලනය දැක්ක දා ඉඳං නේද රාජපක්ෂලව එලවන්න හදන්නෙ? උං මාර බුද්ධිමත් සහ මාරෙට
හම්බකරනවා කියල හිතිල නේද 6% ඉල්ලන්නේ? මෙහෙ මැතිවරණ මාර ප්‍රචණ්ඩ හින්ද නේද ඔයා
කැෆේ එකේ වැඩ කලේ?
කවද්ද
ඔයාගෙ අසහනේ දුරුවෙන්නෙ?
3 වැඩිපුරම කෑම අහේනිය
තියෙන්නෙ ඔයාටද, නැත්තං ඒ මිනිස්සුන්ටද?
ඔයාට
අහුවෙන දෙයක් තම්බලා කෑවහම බඩ පිරෙනවද? ඔයා මාළු තම්බල කාල, කිරට උයල, මිරිසට උයල,
බැදල, පුච්චල, දැන් අමුවෙනුත් කාල බලන්ඩ නේද යන්නෙ? කොහොම කෑවත් ඔයාගෙ බඩ පිරෙන්නෙ
නෑ නේද? ඔයා රහ බලපු කෑම ජාති වගේ සිය ගුණයක ලැයිස්තුවක් ඔලුවෙ තියෙනව නේද මෙතෙක්
රස නොබලපු? සමහර ඒවා මැරෙනකං කන්න ලැබෙන්නෑ කියල ඔයාම දන්නවා නේද? කවුද බඩගින්නෙ
ඉන්නෙ?
4 ඔයාගෙ ඉලව් බටහිර වෛද්‍ය විද්‍යාව
මාර දියුණු හින්ද ඔයා අමරණීය වෙලාද?
ඔයාට
දියවැඩියාව තියෙනව කියල අපි දන්නවා. ඇයි ඉතිං ඔච්චර දියුණු ඔයාගෙ වෛද්‍ය ක්‍රමයෙන්
සුටුස් ගාල හොඳ කරගන්නකො. සීනි දාල ප්ලේන්ටියක් බොන්න බැරි ජීවිතේද ඔයා ඔය හැටි
උඩදාන්නෙ? බඩ එනව වැඩී කියල මොකද්ද මැෂිමකුත් උස්සං ඇවිත් මකුළුදැල් බැඳි බැඳී
ගෙදර තියෙනව නේද? ඒකෙ දවසට පැය බාගයක් එක්සයිස් කරගන්න බැරි එක ගැන කනස්සල්ලක්
නිතර තියෙනව නේද? ඔයාගෙ කොණ්ඩෙ යන හින්ද නේද නෝට් එකට කොණ්ඩෙ කපන්නෙ? ඒක ගැන
කනස්සල්ලකුත් තියෙනව නේද? ඒ කියන්නෙ ඔය දියුණුම දියුණු ඔයාගෙ වෛද්‍ය ශාස්ත්‍රය
තියාගෙනත් ඔයා අද ලෙඩ වාට්ටුවක් නෙමේද?
5 ඒ කාලෙ කතන්දර අහං ඉඳල සාදු
කියාපු මිනිස්සුන්ට වඩා හෙන දේවල් ඔයා දන්න බව අපි දන්නවා. අපි අහන්නෙ ඔයා ඒ
දැනුමෙන් සැනසිලාද ඉන්නෙ කියලා.
ඒ
කාලෙ මිනිස්සු හෙඳේ හාවා ඇඳපු කතාවටත් සාදු කියල, ඒක අහං හිටපු එකෙන් පිනක්
සිද්ද වුනා කියල හිතලා, ඒ පිනෙන් ලබන ආත්මෙ විමුක්තියක් ලැබෙයි කියල හිතාගෙන
සැනසීමෙන් ගෙදර ගියා. ඒ සැනසීමම තමයි විමුක්තිය කියන්නෙත්. තමුන් විඳින හැම දුක්
කරදරයකටම කරුමය (කර්මය) කියල හේතුවක් තිබුනා. ඒ නිසා ඉදිරි ජීවිතේ හොඳින් ඉන්න
යහපත් කර්ම කරන්න මිනිස්සු උත්සාහ කලා. ඒක සමාජයටත් බලපෑවා.
අද
ඔයා දන්නවා හෙඳේ හාවෙක් නෑ කියලා. දැන් ඔයා හොයන්නෙ අඟහරු මත ජලය සහ කාබනික
සංයයෝග තියෙනවද කියල නේද? ඊළඟට හොයන්නෙ බ්‍රහස්පති ගැනද? යුරේනස් ගැනද? බෝසෝන්
අංශුව පිළිබඳ පුවාදය සනාථ වුනාට පස්සෙ ඔයාට සනීපෙට නින්ද ගියාද? ඔයා මාක්ස්වාදය
හදාරලා ඉවර කරන්නෙ කවද්ද? අපි දැක්කා මේ දවස්වල කොල්ලො වගයක් බදියුද මොකෙද්ද එකෙක්
ගැන කතා කරනවා. ඔයා මාක්ස් ඉවර කරලා අනුපිලිවෙලින් බදියු ගාවට එනකොට ඔයාගෙ වයස
කීයක් විතර වෙයිද? වැදගත්ම දේ මේකයි. ඔය ඔක්කොම කියෝලා ඉවරකලාට පස්සෙ ඔයාට
සැනසීමක් ලැබෙයිද? හිත නිසංසල වෙයිද? ශාන්තියක් දැනෙයිද?
6 ආර්ට්
ගැන ඔයා කියන කතාවෙනම් පොඩි දෙයක් තියෙනවා. (ඒක නිසා අර බෙර සද්ද ගැන කියපු
අලුගුත්තේරු කතාව අමතක කරල දාමුකො) කලාව මිනිස් ජීවිත විකසිත කරගන්න භාවිතා
කරන්නක්. ඒක දියුණු වෙන තරමට හොඳයි. හැබැයි ඔයා කලාව කියල හිතං ඉන්න තක්කඩි
බිස්නස් එක ගැන නෙමෙයි අපි කියන්නෙ කියල විතරක් කියන්නම්.
7 ඔයාගෙ ජීවිතේ බෝරිං නැද්ද?
එදා දවල්
දවසෙ වැඩ ඉවර කරලා, නාල, කාල රෑ අටට නිදාගත්තු මිනිහගෙ ජීවිතේට වඩා ඔයාගෙ/අපේ
ජීවිතේ බෝරිං. මෙච්චර කාලෙකට අපි මොනවද කරල තියෙන්නෙ? එකම දෙයයි.
එළවන එක.
දැනුම
පස්සෙ. සල්ලි පස්සෙ. ලිංගික තෘප්තිය පස්සෙ. රස ආහාර පස්සෙ. අලුත් තාක්ෂණික මෙවලම්
පස්සෙ. තනතුරු පස්සෙ.....
රෑට
ඉන්ටර්නෙට් එකේ. මෙතන මාර විචිත්‍ර හින්ද බෝරිං නෑ කියල හිතෙනව ඇති. නමුත් මොනවද
මෙතන කරන්නෙ? තව එකෙකුට වඩා ඉලිප්පෙන්න හදන එක. තව එකෙකුට මඩ ගහන එක. තව එකෙකුට
ටොපි බෙදන එක. මට වඩා අරූ දන්නෙ මොනවද කියල හොයන එක. මට වඩා අරූ ගන්න ආතල්එක හොයන
එක. මේවත් අර එලවිල්ලෙම කෑලි නෙමේද?
ඔයාට දිනපතා
දවසෙන් පැය දාසයක් ලොරියක් එලවන්න උනොත් බෝරිංද නැද්ද? මේ එලවිල්ලත් ලොරි එලවිල්ලට
දෙවෙනි නෑ. මේ මොහොතෙ බෝරිං නැතුව ඇති. නමුත් වෙලාවක් එනවා හති වැටෙන. ආපහු හැරිලා
බලලා දිවි නහගන්න හිතෙන. සිහි නැතිවෙන්න බොන්ඩ හිතෙන.
අපේ
හාමුදුරුවො කියාපු කාලෙ අපේ ගම්වල කතන්දර කියන, විහිලු තහලු කරන සීයලා ආච්චිලා
හිටියා. ඒ මිනිස්සු හිටියෙ සන්තෝසෙන්. ඒ අය නිසා සමාජයේ අනික් අයත් සන්තෝසෙන්. ඔයා
හිතනවද ඔයා වයසට ගියාම පොඩි එකෙකුට විහිලුවක් කරලවත් හිනාවෙයි කියලා? ඔයාට/අපිට
එතකොට හොඳටම හති. ඔයාට ලොකු දැනුමකුත් තියෙන හින්ද මරණෙන් පස්සෙ දෙයක් ගැන විශ්වාසයකුත්
නැති එකේ ඔයා ගතකල නිශ්ඵල ජීවිතේ ගැන හිතමින් රවාගෙන නේද ඉන්න වෙන්නෙ? ඔයාට/අපිට
ලබාගන්න බැරිවුන දේවල් ගැන හිත හිතා නේද මැරෙන්න වෙන්නෙ?
ඔය ටික දැනට ඇති. අපි මෙතන
ඔයාගෙ ආතල් කැඩුව කියල හිතන්න එපා. ඔයාගෙ වගේම තමා අපේ ජීවිතත්. අනික මේ කියල
තියෙන්නෙ ඒ කාලෙ ගමකට ආපහු යන්න ඕනෙ කියල නෙමෙයි. එහෙම ආපහු යන්න බැරි තරම් දුරකට
අපි ඇවිල්ලා. අපි කියන්නේ හතර වටින්ම කෙළවගෙන, ඒ මදිවට ජීවත්වන මහපොළොවටත් කෙළවන
ගමන්ම, ඒකාලෙ පොළොවට බරක් නොවී, සැනසිල්ලෙ මැරිලගිය මිනිස්සුන්ට හිනාවෙන්න එපා
කියලා.
(මෙම ලිපිය අප කණ්ඩායමේ සාමූහික
ප්‍රයත්නයකි. මෙයට ඔබ කැමැත්තේනම්, මෙය
ෂෙයාර් කිරීමෙන් ලබාදෙන සහයෝගය අගය කොට සලකමු)